
පසුගිය 2025 මැයි 23 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සහ හෙට එනම්, 2025.08.06 වන දිනට පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත විදුලිබල සංශෝධන පනත හා අදාළ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අතර තවත් විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) දින පස්වරුවේ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ඇමතූ අමාත්‍යවරයා, විදුලිබල සංශෝධන පනත ජාතික ජනබලවේගයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුකූලව විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය සුරකින අතරම වර්තමාන අභියෝග හා අනාගත ආර්ථික තත්වයන්ට මුහුණ දිය හැකි අයුරින් විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම පිණිස මෙම සංශෝධන පනත ඉදිරිපත් කරන බවත්, මෙමගින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයේ විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණ වැඩපිලිවෙල ආපසු හරවමින්, විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමකාරීත්වය සුරැකීමට හැකිවෙන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, මේ පනත ඉදිරිපත් කරන වැඩපිලිවෙල තුළ විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැකි තරම් දැනුවත් කරමින්, ඒ වගේම අදාල ක්ෂේත්‍ර යේ සියළු දෙනාගේම අදහස් හා යෝජනා ලබාගනිමින්, ඒ සඳහා ප්‍රමාණවත් කාල වේලාවක් දෙමින් ක්‍රියාත්මක කළ බවත් තවදුරටත් ප්‍රකාශ කළේය.
“අපි කිව්වා වගේම දැනට සිටින කිසිම සේවකයෙකුගේ වරප්‍රසාද අයිතිවාසිකම් කඩ නොවන විදිහට ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරිපත්වුණු නඩු හා එම තීන්දු සැලකිල්ලට අරගෙන හැකි තරම් සද්භාවයෙන් අපි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒ වගේම මීට පෙරත් වෘත්තීය සමිතිවලටද අදහස් දක්වන්න අවස්ථාවක් දුන්නා. වැඩි වෘත්තීය සමිති ප්‍රමාණයක් ඊට සහභාගී වෙලා අදහස් ප්‍රකාශ කලා. එදා නොපැමිණි වෘත්තීය සමිතිත් අද සහභාගී වෙනවා. ඒක අගය කරනවා. අපි ජනතා කේන්ද්‍රීය රජයක්. මේ රටට සහ වැඩකරන ජනතාවට හානිදායක තීන්දුවක් අපි ගන්නෙ නෑ. ඒ හින්දා මේ පනතේ වටිනාකම, අවශ්‍යතාවය තේරුම් අරගෙන වෘත්තීය සමිතිවලත්, සේවකයෝ සියළු දෙනාගේමත් සහයෝගය මේ සඳහා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා“ යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයින් නැවත වතාවක් වෘත්තීය සමිති සමග අදහස් හුවමාරු කරගන්න අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතරම, වගකිව යුතු වෘත්තීය සමිති හැටියට සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා අත්‍යවශ්‍ය වැදගත් කාරණාවක් බව ඇමතිවරයාත් පිලිගනු ඇතැයි විශ්වාස කරන බවත්, පොදුවේ සියළු වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයක් මේ අවස්ථාවේ ලිඛිතව ඉදිරිපත් කරන අතරම, වෘත්තීය සමිතිවලට අවශ්‍ය විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව අපසු හරවන වැඩපිලිවෙලවල් හෝ රජයේ සංවර්ධන වැඩවලට අකුල් හෙලන වැඩපිළිවෙලක් නොවන බවත්, සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකෙන හා විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුව තහවුරු කෙරෙන තත්වයක් තුළ මෙම පනත සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වන්නට සූදානම් බවත් ප්‍රකාශ කළහ.
මෙම අවස්ථාව සඳහා විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යංශයේ අධ්‍යක්ෂක ජනරාල් පුබුදු නිරෝෂන් මහතා ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.