
ඉදිරි මාස දෙකහමාරක කාලයකට අවශ්‍ය තෙල් තොග තිබෙනවා. දෙසැම්බර් මාසය දක්වා ප්‍රසම්පාදන කටයුතු අවසන් කරලා ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් සැපයුම දෙසැම්බර් මාසය දක්වා තහවුරු කර තිබෙනවා. ඒ නිසා මෑතකදි තෙල් අර්බුදයක් හෝ හිගයක් ඇතිවෙන්න කිසිදු ඉඩක් නෑ. රජය මේ කාරණයෙදී ඉතා සැළකිලිමත්ව හා සැළසුම් සහගතව ක්‍රියාකරනවා. දැනටත් අපි මේ අර්බුදයට සම්බන්ධ රටවල් වලින් තෙල් ගෙන්වන්නේ නෑ. ඒ වගේම ගැටුම් ඇති කලාපයෙන් පරිබාහිර රටවල් වලින් තමයි දැනටත් බහුතරයක් මිළදී ගැනීම් කරන්නේ යැයිද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසුවේ මැදපෙරදිග යුධ තත්වය තුළ රටේ ඛනිජ තෙල් සැපයුම සම්බන්ධයෙන් නාරහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ඉදිරියෙදී තෙල් මිල ඉහළ යා හැකිදැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා හැම මාසයක් ආරම්භයේදී තෙල් මිල සංශෝධනය වෙනවා. ජාත්‍යන්තර වෙළදපලේ මිල ගණන් අනුවයි ඒක වෙන්නේ. අපි හැමවිටම උත්සාහ කරනවා අවම පිරිවැයක් මත මහජනතාවට තෙල් ටික දෙන්න. තෙල් මිල සම්බන්ධයෙන් විචල්‍ය දෙකයි තියෙන්නේ. එකක් රටට තෙල් ගොඩබාන කොට පිරිවැය, දෙක ගබඩා හා බෙදාහැරීම් වියදම් සහ ඛනිජ තෙල් සංස්ථාව තියාගන්නා ලාභය. අවම ලාභයක් තියාගෙන හෝ ලාභයක් රහිතව තෙල් බෙදාහැරිම තුළින් මහජනතාවට සහන ලබාදෙන්න ජනතා රජයක් හැටියට අපි හැමවිටම කටයුතු කරනවා යැයිද තවදුරටත් පැවසීය.
බූලි සහ කෑන් වලට තෙල් නිකුත් කිරීම නීති විරෝධියි. අනියත බියක් ඇති කර ගෙන තෙල් පුද්ගලිකව ගබඩා කරන්න ගියොත් ගැටළු මතුවෙන්න පුළුවන් යැයිද තෙල් බෙදාහරින්නන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අමාත්‍යවරයා සමග ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිළධාරීන්ද එක්ව සිටියහ