• ජූලි 26, 2025
  • Tharooshi Vihanga
  • 0

“සමකය ආසන්නයේ රටක් හැටියට අපට වසරේ හැම දවසකම වගේ හොදින් ඉර එළිය ලැබෙනවා. ඒ සොබා දහමේ ආශිර්වාදය නොමදව ලබාගෙන අපේ රටේ විදුලිබල අරමුණු ජයගන්න අපි රජයක් හැටියට ක්‍රියාකරනවා. පුනර්ජනනීය සහ හරිත බලශක්ති ප්‍රභවයක් හැටියට සූර්යාලෝකයේ ඇති වැදගත්කමත් ඉන් ලබාගත හැකි ඉහළ දායකත්වයත් සැළකිල්ලට අරගෙන අඛණ්ඩව සූර්යබල ක්ෂේත්‍රයේ වර්ධනය සදහා ක්‍රියාකරන බවත් විශේෂයෙන්ම දේශීය අයෝජකයින් ඒ ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම දිරිගන්වන්න ක්‍රියාකරන බවත් ප්‍රකාශ කරන්න කැමතියි.” යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අදහස් පළ කලේ පසුගියදා (26) මඩකළපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 10ක ධාරිතාවයකින් යුත් සූර්යශක්ති සූර්ය බලාගාරය විවෘත කිරීමේ නිළ උත්සවයට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා දුෂ්කර ප්‍රදේශයක සහෝදර ජනතාව වෙනුවෙන් මෙහිදී සිදු කළ රූපවාහිනී සංගීත භාණ්ඩ හා ක්‍රීඩා උපකරණ මෙන්ම සූර්යබල විදුලියෙන් ක්‍රියාත්මක වන පහන් කණු පරිත්‍යාගයද ඉතා අගය කරන බවත් විශේෂයෙන්ම ඉතා ඉක්මනින් වර්ධනය වන සහ දෙස් විදෙස් රැකියා අවස්ථා බහුල සූර්යබල කර්මාන්ත ක්ෂේත්‍රයේ පුහුණුව සදහා මේ ප්‍රදේශයේ තරුණයන්ට අවස්ථාවක් සළසමින් ඒ සදහා අනුග්‍රහය දක්වන ලෙස පාලන අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය. (පාලන අධිකාරිය එම ඉල්ලීම පිළිගිනිමින් තරුණයින් 20 දෙනෙකුට එලෙස පුහුණුව ලබාදීමට එකගතාව පළ කළ බව විශේෂයෙන් සදහන් කළ යුතුයි.)

වින්ඩ්ෆෝර්ස් පීඑල්සී (Wind Force PLC) සමාගම, විදුල්ලංකා (Vidullanka) යන ලාංකීය සමාගම් රුපියල් බිලියන 2.2 ක ආයෝජනයකින් මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ අක්කර 27ක භූමි භාගයක් පුරා ඉදි කර ඇති මෙම සූර්ය බලාගාරය precast pile structures හෙවත් පෙර සවි කුළුණු මත ඉදිකිරීම් ක්‍රමවේදය අනුව ඉදිකළ ප්‍රථම සූර්යබල ව්‍යාපෘතිය වේ.

විශේෂයෙන්ම කලපුවට මායිම්ව අවම කෘෂිකාර්මික හැකියාවක් පවතින හා කලින් කලට ගංවතුරට යටවන ප්‍රදේශයක එකී පාරසරික තත්වයන් විශේෂයෙන් සැළකිල්ලට ගනිමින් මෙහි ඉදිකිරීම් සිදුකර තිබීම සුවිශේෂී වේ.

මෙම අවස්ථාවට ජාතික ජනබලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ටී.එම්.ඩබ්.ජේ. බණ්ඩාර මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති මහාචාර්ය සාලිය ජයසේකර මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (වැඩබලන) ඉංජිනේරු වසන්ත එදුස්සූරිය මහතා, WindForce PLC සමාගමේ උප සභාපති අස්ග අක්බර් අලි මහතා, Vidullanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රියාස් සංගානි මහතා, Wind Force PLC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා මහතා සහ සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රමේෂ් ජයසේකර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.