• ජූලි 27, 2025
  • Tharooshi Vihanga
  • 0

ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පසුගියදා (27)  රන්දෙනිගල සහ  රන්ටැඹේ ජල විදුලි බලාගාරවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

වසර 15කට පමණ පසු අදාල විෂය භාර අමාත්‍යවරයෙකු එම බලාගාරවල චාරිකාවක නිරතවීම ඉතා වැදගත් බව පැවසූ එහි සේවකයෝ, අමාත්‍යවරයාව ඉතා සුහදව පිළිගත්හ. එහිදී අමාත්‍යවරයා සේවකයන්ගේ ගැටළු සහ ඉල්ලීම්වලටද සවන් දෙමින් සුහද කතාබහක යෙදුනු අතර, විශේෂයෙන් නව විදුලි පනත හරහා සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීමට ගෙන ඇති පියවර ද විස්තර කළේය.

රන්ටැඹේ, රන්දෙනිගල බලාගාර ඇතුළු ජල විදුලි බලාගාර පද්ධතියේත්, බලශක්ති ක්ෂේත්‍රයේත්, රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කරමින්, වත්මන් සමාජ , ආර්ථික තත්වයන්වලට ගැලපෙන අයුරින් ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ නවීකරණය කළ යුතු බවත්, විදුලි පනත හරහා එම පියවර ගෙන ඇති බවත්, වැඩිදුරටත් සදහන් කළේය.

පිළිවෙලින් වර්ෂ 1988 සහ 1990 වර්ෂවල ආරම්භ කෙරුණු මෙම බලාගාර ද්විත්වය ජර්මානු රජයේ ආධාර යටතේ අප රටට ලැබුණු දායාද ලෙස හැඳින්විය හැකි අතර,  රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 50, රන්දෙනිගල බලාගාරය මගින් මොගාවොට් 120 උපරිම ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. අවම නඩත්තු වියදම් සහිත බිඳ වැටීම් අවම එසේ නැතිනම් බිඳ වැටීම් නොමැති බලාගාර ලෙස මෙම බලාගාර ද්විත්වය දැක්විය හැක.

මෙම අවස්ථාව සඳහා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (වැඩබලන) ඉංජිනේරු. ඩබ්ලිව්. එදුස්සූරිය මහතා, වික්ටෝරියා ජලවිදුලි බලාගාරයේ කාර්ය භාර ඉංජිනේරු (ප්‍රධාන වේලි හා ජලාශ) වසන්ත ඇහැලපිටිය මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මහවැලි සංකීර්ණය) ඩී.එම්.ආර්.කේ.බී. ගුණතිලක මහතා, රන්දෙනිගල, රන්ටැඹේ ප්‍රධාන ඉංජිනේරු ආර්.එම්.එච්.කේ. කරුණාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු බී.ඒ.ජේ. කිත්සිරි මහතා, ප්‍රධාන ඉංජිනේරු ජී.අයි.ඩී. ශාන්ත මයා ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.