
ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් හා ස්ථාවර කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් තබමින් හබරණ ප්‍රදේශයේ අක්කර 16ක භූමියක ඉදිකළ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නව ග්‍රිඩ් උපපොල විවෘත කිරීම අද (03) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජපාන තානාපති ඉසොමාටා අකියෝ මැතිතුමාගේ සහභාගීත්වයෙන් හබරණ දී සිදුකරන ලදී.
පුනර්ජනීය බලශක්ති සම්ප්‍රේශනය කිරීම, සම්ප්‍රේෂණ ධාරිතාව වර්ධනය කිරීම සහ බල සැපයුමේ විශ්වාසනීයත්වය වැඩි කිරීම සහ විදුලි සම්ප්‍රේෂණ ශක්ති හානිය අඩු කිරීම ආදී බහුවිධ අරමුණු ඉලක්ක කරමින් ඉදිවන කිලෝමීටර 146ක කිලෝ වොල්ට් 220ක හබරණ වේයන්ගොඩ විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ එක් වැදගත් පියවරක් ලෙස ඉහත හබරණ නව ග්‍රිඩ් උපපොළ විවෘත කිරීම හඳුන්වාදිය හැක.
මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ මේ සඳහා යොදා ගන්නා ලද විදුලි රැහැන් අඩු ප්‍රතිරෝධයකින් (Low Loss Conducted) සමන්විත බැවින් විදුලිය සම්ප්‍රේෂණයේදී සිදුවන ශක්ති හානිය අවම වීමයි. එසේම නොරොච්චෝලේ බලාගාරයේ නිපදවෙන බලශක්තිය බෙදා හැරීම සඳහා තවත් අමතර මාර්ගයක් නිර්මාණය වන බැවින් සමස්ථ විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය වැඩි කිරීමටද මෙම රැහැන් මාර්ගය හා ග්‍රිඩ් උපපොල දායක වනු ඇත.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “පසුගිය පෙබරවාරි 9වනදා සිදුවුණු විදුලි බිඳවැටීමෙන් පස්සෙ විශේෂයෙන්ම ඊට කලින් සිදුවෙච්ච බිඳවැටීම් වළක්වන්න කරපු නිර්දේශ, ඒ වගේම විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය වෙනුවෙන් කරපු යෝජනා සැලසුම් හා වැඩපිළිවෙලවල් අපේ අවධානයට ලක් වුණා. ඇත්තටම ඒ යෝජනා ක්‍රියාත්මක වුණා නම් අර බිඳවැටීමත් සිද්ධ වෙන්නෙ නැති බව අපට තේරුණා. මේ තත්වය දැන ගත්තට පස්සෙ අපි මෙතෙක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරලා අතරමග නවත්තල තිබ්බ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආයෙත් පටන් ගන්තා. ඒ වගේම දැනටමත් ක්‍රියාත්මකවෙන ඒත් විවිධ හේතු හින්දා ප්‍රමාද වෙමින් කාල නියමයක් සීමාවක් ඉලක්කයන් නැතුව ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති වේගවත් කරන්න, අවශ්‍ය මැදිහත්වීම කළා, විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන්, ඉලක්ක කර ගත්ත අළුත් නිර්මාණශීලී ක්‍රමවේද වැඩපිලිවෙලවල් සොයා බලා ක්‍රියාත්මක කරන්න පියවර ගත්තා“ යනුවෙන් ප්‍රකාශ කළේය.
තවද, ජපාන රජයේ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, මෙරට ආයෝජන හා ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දායක වීමට ජපාන රජයේ කැමැත්ත පිළිබිඹු කරමින් ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ (Isomata Akio) මහතා කළ අදහස් දැක්වීම, රජය කෙරෙහි ඇති ජාත්‍යන්තර සහයෝගය ප්‍රකාශ කෙරෙන්නක් බවද ජපාන රජයට හා ජනතාවට කෘතවේදීත්වය පළ කරන බවද කීය.
මෙහිදී අදහස් දැක්වූ ජපාන තානාපති ඉසොමාටා අකියෝ (Isomata Akio) ශ්‍රී ලංකාව සඳහා විශේෂිත සංවර්ධන ආධාර ප්‍රතිපත්තියක් ජපානය විසින් සකස් කර ඇති බවත්, එහිදී විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ හා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඇතුළු ක්ෂේත්‍රවල සහාය දැක්වීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සඳහා ස්ථිර හා යහපත් හවුල්කාරීත්වයකින් කටයුතු කරමින් දෙරටටම ප්‍රතිඵලදායක ආයෝජනයන් හරහා දෙරට අතර සම්බන්ධතාවය වර්ධනය කිරීම අපේ අරමුණයි යනුවෙන්ද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව සඳහා ජයිකා ආයතනයේ මෙරට නියෝජිතවරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු. ඩබ්ලිව්. එදුස්සූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිහය.