• ජනවාරි 1, 2026
  • Uyaam Maalik
  • 0

ගෙවුණු වසරේ විදුලිබල හා බලශක්ති අරමුණු ඉෂ්ට කරගැනීමට අවශ්‍ය හොඳ අඩිතාලමක් දමන්න හැකි වුණා. නව වසරේ වඩාත් කැපවීමෙන් හා අධිෂ්ඨානශීලීව එක්ව කටයුතු කරමු.“

– බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

ගෙවුණු 2025 වසරේ විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයේ නිශ්චිත අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා හොඳ අඩිතාලමක් දමන්න හැකි වූ බවත්, ඒ සඳහා සහයෝගය දුන් සියලුම අමාත්‍යංශ නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද (01) නව වසරේ අමාත්‍යංශ නිලදාරීන් හා එක්ව රාජකාරී කටයුතු අරඹමිනි

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ගෙවුණු වසරේ සිදුවුණු දිට්වා සුළි කුණාටු තත්ත්වය හින්දා රටට සිදුවෙලා තිබෙන පාඩුව ඉතා විශාලයි විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය යටතේ තියෙන ලංකා විදුලිබල මණ්ඩලය අයත් යටිතල පහසුකම් වලට රටේ විදුලිබල පද්ධතියට දැවැන්ත හානියක් සිදුවුණා.  තත්ත්වය හොදින් කළමණාකරණය කරල පීඩාවට පත්වෙච්ච ජනතාවට විශාල සහන ලබදෙමින් කටයුතු කරන්න අපට පුලුවන් වුණා. ඒ වගේම සිදුවුණ බිදවැටීම් තිබුණටත් වඩා ඉහළින් යළි ගොඩගන්න යළි ඉදිකරන්න අපි සැළසුම් කරලා තියෙනවා. ඒක අපේ රටේ ජනතාවට එදිනෙදා ජන ජීවිතයට ආර්ථිකයට විශාල බලපෑමක් කරන්න පුළුවන් ආයතන අයත් අමාත්‍යංශයක් හැටියට අපට පැවරෙන විශාල වගකීමක්. ඒ හින්දා රටේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් රැකියාවේ වගකීම ඉහළින් ඉෂ්ඨ කරන්න අධිෂ්ඨාන කර ගනිමුයි කියන්න කැමතියි.

රජයක් හැටියට දුර්වල ආර්ථික තත්ත්වයක්  තිබු රටක් බාර අරගෙන සැළසුම් කළ අපේක්ෂිත ආර්ථික ඉලක්ක ජයගන්න අතරම රාජ්‍ය සේවක වැටුප සැළකිය යුතු ලෙස ඉහළ දමන්න අපි කටයුතු කරා. ජනවාරි මාසයේ සිට ඒ වැඩිකළ වැටුප්වල දෙවන පියවර ක්‍රියාත්මක වෙනවා. වැටුප වැඩිවන බව හැමෝම දන්නවනේ නේද? අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් නැති ගෞරවනීය රාජ්‍ය සේවයක් රටට ලබාදෙන්න ඔබේ ගෞරවය සුරැකෙන පරිදි කටයුතු කරන්න අමාත්‍යවරයා හැටියට මමත් අපේ රජයත් කටයුතු කළබව සතුටෙන් කියන්න කැමතියි.

ඉතින් මේ වෙනකොට අපේ රජය කටයුතු කරන විදිහ ගැන රටේ ජනතාවගේ අවශ්‍යතාවය රටේ අවශ්‍යතාවයට මුල් තැනක් දීල කටයුතු කරන බව ඔබ අත්දැකීමෙන් දන්නවා. ඔබ වඩාත් කැපවීමෙන් හා අධිෂ්ඨානශීලිව හා කාර්යක්ෂමව කටයුතු කරනු ඇතැයි කියලා බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරන්නත් අපි සියලුදෙනා එක්වෙලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ රටේ ජනතාවට ලබාදෙන්න කැපවීමෙන් හා අධිෂ්ඨානශීලිව කටයුතු කරන්නත් එක් වෙන්නැයි ආරාධනා කර සිටිනවා.” යනුවෙන්ද ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාව සඳහා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු අමාත්‍යංශයේ නිලධාරීහු එක්ව සිටියහ.