• නොවැම්බර් 25, 2025
  • Uyaam Maalik
  • 0

කිලිනොච්චියටත් සුළින් මෙගාවොට් 204ක්….

මෙගාවොට් 204ක යුත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත

සුළං විදුලි බලාගාරය සදහා යෝජිත භූමි ප්‍රදේශයේ

බලශක්ති ආමත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ක්ෂේත්‍ර චාරිකාවක නියැලෙයි.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 204ක විදුලිබල ධාරිතාවයක් එක් කිරීමට නියමිත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරාන්චි-වේරවිල් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සුළං විදුලිබල ව්‍යාපෘතියට අදාළ භූමිය නිරීක්ෂණය කිරීමේ සහ කරුණු සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවක බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (25) දින නියැලුනේය.

රටේ බලශක්ති අරමුණු ජයගැනීමෙහිලා පුනර්ජනනීය බලශක්තිය උපරිම අයුරින් දායක කරගැනීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව ඉහත ප්‍රදේශයේ ඇති සුළං විදුලි විභවතාවය ප්‍රයෝජනයට ගැනීමත් ඒ හරහා රටේ උතුරු ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමත් මෙම යෝජිත ව්‍යාපෘතියේ අරමුණු අතර වේ.

මෙහිදී එකක් මෙගාවොට් 06ක් වන සුළං විදුලි කුළුණු 34ක් ස්ථාපිත කිරීමට නියමිත අතර ඒ සදහා තෝරාගත් ඉඩම් කොටස් වැඩි ප්‍රමාණයකට ඇමතිවරයා පෞද්ගලිකවම ගොස් විස්තර සොයා බැලීය. මෙලෙස වෙන්කොට ඇති ඉඩම් කොටස් වැඩි ප්‍රමාණයක, කිසිදු ගැටලුවක් නොමැතිව ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇරබීමේ හැකියාව ඇති බව නිරීක්ෂණය වූ අතර විවිධ ගැටලු ඇති බිම් කොටස්වල එම ගැටලු විසදීමට ගත හැකි පියවර සොයා බැලීමද සිදු මෙහිදී සිදු විය.

නිරීක්ෂණ චාරිකාවෙන් පසු කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ව්‍යෘපෘතිය හා අදාළ රජ්‍ය ආයතනවල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැති අතර එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“මෙම ව්‍යාපෘතිය රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස සළකා ක්‍රියාත්මක කරන බවත් මේ හරහා ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැළසුම්කර ඇති බවත් ප්‍රකාශ කලේය. තවද පරිසරයට සිදුවන බලපෑම් හා ජනතාවට සිදුවන අපහසුතා අවම වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් කාලයක් තිස්සේ සංවර්ධනය මග හැරුණු උතුරු ප්‍රදේශයට මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇති බවත්” තව දුරටත් ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාව සදහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලංකුමාරන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන්, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, සුනිත්‍ය බලක්ති අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් හර්ෂ වික්‍රමසිංහ ඇතුළු රජයේ නිළධාරීහු රැසක් සහභාගී වූහ.