• දෙසැම්බර් 5, 2025
  • Uyaam Maalik
  • 0

බිඳවැටුන රන්ටැඹේ-මහියංගණ සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු බලශක්ති අමාත්‍යවරයාගේ නිරීක්ශණයට.

දිත්වා සුළි කුණාටු තත්වය නිසා මෙරට ජාතික විදුලි පද්ධතියට සිදුවූ බරපතලම හානිය ලෙස සැළකිය හැකි රන්ටැඹේ මහියංගණය කිලෝ වෝල්ට් 132 සම්ප්‍රේෂණ පද්ධතියේ කුළුණක් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමත් රැහැන් වලට සිදුවූ විනාශයත් දැක්විය හැක. මේ නිසා මහියංගණය ප්‍රදේශයට මෙන්ම දිවයිනේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවල විදුලි සැපයුම බරපතල ලෙස බිඳ වැටුණි.

ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මනින් ක්‍රියාකාරීවී කිලෝ වෝල්ට් 33ක තාවකාලික සම්බන්ධතාවයක් හරහා එම ප්‍රදේශයේ රෝහල්, ජල පොම්පාගාර වැනි අත්‍යාවශය ස්ථානවලට විදුලිය ලබාදීම ඇතුළු නිෂ්චිත ප්‍රදේශයකට කඩින්කඩ පැය කීපය බැගින් විදුලිය ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් විදුලි සම්බන්ධතාව ලබාදීම සිදු කළද විනාශ වී ගිය කුළුණු වෙනුවට තාවකාලික කුළුණු ඉදිකරමින් හා රැහැන් පද්ධති සැකස්ම වේගවත් කිරීම අත්‍යාවශය වී තිබුණි. ඒ සදහා අවශ්‍ය මඟපෙන්වීමත් සහය ලබාදීමත් සහ ඉතා දුෂ්කර තත්වයක් තුල දැඩි කැපවීමකින් එම කටයුතු වල යෙදෙන විදුලි සේවකයන් දිරිමත් කරමින් අරමුණු කරගෙන බලශක්ති අමාත්‍යවරයා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

එළඹෙන ඉරිදා (07) දින වනවිට ඉහත සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්වයට පත්කොට එම ප්‍රදේශ වලට විදුලි සබඳතාව ලබාදීමට අපේක්ෂිතය.

තවද අමාත්‍යවරයා  මෙම සංචාරයෙදී විදුලි සම්ප්‍රේෂණ කුළුණක් සම්පූර්ණයෙන් විනාශවී රැහැන් පද්ධතියට සිදුවූ අලාභ හානී නිසා ජාතික විදුලි පද්ධතියේ සබඳතාව බිඳවැටී තිබුණු බෝවතැන්න ජලවිදුලි බලාගාරයද නිරීක්ෂණය කළ අතර අත්‍යාවශය මගපෙන්වීම් සහ උපදෙස් ලබා දුන්නේය.

විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙක්ද අමාත්‍යවරයා සමග මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.